Nature

පරිගණකය හැදුන හැටි


ගණනය පහසු කිරීමට උපකරණයක් නිර්මාණය කිරීම තමයි පරිගණකයේ ආරම්භයට හේතු වෙලා තියෙන්නේ. මුලින්ම මේ ගණනය කිරීම්වලට නිර්මාණය කරපු උපකරණය තමයි ඇබකසය කියලා කියන්නේ. මුල්ම ඇබකසය බැබිලෝනියානුවන්ගේ සාමාන්ය ලිවීමේ අරමුණු සඳහා අකුරු සොයා ගැනීමට භාවිතා වෙලා තියෙනවා. කාලයත් එක්ක මෙම ඇබකසය රේඛා වලින් සලකුණු කරපු පුවරුවක් බවට පරිණාමය වෙලා තියෙනවා. ඒවගේම සංඛ්යාත්මක අගයන් සහිත කවුන්ටර වලින්ද සමන්විත වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට එක, දස, සියගණන ආකාරයෙන්. පසු කාලීනව ඇබකස් විශේෂිත ලිපිගොනුවල කවුන්ටර චලනය කිරීමට පහසුකම් සැලසීම සඳහා පුවරුවේ කට්ට සහිතව නිර්මාණය වෙලා තියෙනවා . ඒවගේම එය මධ්‍යතන යුගයේ යුරෝපයේ මෙන්ම අරාබි ලෝකයේ සහ ආසියාවේ බහුලව භාවිතා වී තිබෙනවා. 


ඉතින් මේ ඇබකසය ඉතිහාසයේ පළමු පරිගණක උපාංගවලින් එකක් ලෙස සලකන්න පුලුවන්. ඇබකසය තාක්ෂණික වශයෙන් පරිගණකයක් නොවූවත්, නූතන පරිගණකයේ දියුණුව සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරලා තියෙනවා. 

ඉතින් මේ විදිහට ඇබකසයෙන් පස්සෙ නිර්මාණය වුණුු ලොව පළමු වන යාන්ත්‍රික ගණිත කර්ම කරන උපකරණය තමයි Adding Machine කියලා කියන්නේ. 1642 දී ප්‍රංශ ගණිතඥයෙකු වන බ්ලේස් පැස්කල් විසින් Adding Machine කියන උපකරණය නිපදවලා තියෙනවා. මේක පැස්කල්ගේ කැල්කියුලේටරය හෙවත් පැස්කලීන් ලෙසත් හඳුන්වනවා. මේ උපකරණය හරහා පැස්කලයින් එකතු කිරීම සහ අඩු කිරීම සිදු කරන්න පුලුවන්. බදු අධීක්ෂකවරයෙකු ලෙස සේවය කළ පැස්කල්ගේ පියාගේ පහසුව සඳහා ඔහු මේ උපකරණය තවත් වැඩි දියුණු කරලා තියෙනවා. වෙහෙසකාරී අංක ගණිතමය ගණනය කිරීම් පහසු කිරීම තමයි ඔහුගේ අරමුණ වෙලා තිබුණෙ.



 ඉතින් මේ විදිහට මූලාකෘති 50 ක් පමණ නිර්මාණය කිරීමෙන් පස්සෙ තමයි පැස්කල් විසින් 1645 දී මේ උපාංගය මහජනතාවට එළිදක්වලා තියෙන්නෙ. ඉතින් මේ නිසා ඔහුට රාජකීය වරප්‍රසාදත් ලැබිලා තියෙනවා. 1649 දී XIV වන ලුවී රජු ප්‍රංශයේ ගණනය කිරීමේ යන්ත්‍ර සැලසුම් කිරීම සහ නිෂ්පාදනය කිරීම සඳහා පැස්කල්ට තනි අයිතිය ලබා දීල තියෙනවා. 

ඉතින් මේ විදහට නිර්මාණය වුණු පැස්කල්ගේ උපකරණය 1674 දි Gottfried Wilhelm Von Leibnitz විසින් වැඩි දියුණු කරලා තියෙනවා. එකතු කිරීම සහ අඩු කිරීම පමණක් තිබූ පැස්කල්ගේ උපකරණයට දාර්ශනිකයෙක් වන Leibnitz විසින් බෙදීම සහ ගුණකිරීමත් එකතු කරලා තියෙනවා. ඒවගේම ඔහු විසින් Step Reckoner නම් ගණනය කිරීමේ යන්ත්‍රයද නිර්මාණය කර තිබෙනවා.

මේ විදිහට කාලයක් ගතවෙද්දි ප්‍රංශ ජාතික විද්‍යාඥයෙකු වන Joseph Jacquard විසින් Punch Card System මගින් ක්‍රියාකරණු ලබන රෙදිවියන යන්ත්‍රයක් නිර්මාණය කරලා තියෙනවා. ඉදින් මේකෙදි සරලවම සිදුවෙන්නෙ Punch Card මත ඇති සිදුරු වෙනස් කිරීම මගින් රෙදි විවීමේ රටාව වෙනස් කිරීමයි.  ඉතින් මේ සංකල්පය භාවිතා කරලා ඉංග්‍රීසි ගණිතඥයකුවන Charles Babbage විසින් Analytical Engine නම් උපකරණය නිර්මාණය කිරීම පටන් අරන් තියෙනවා. අවාසනාවකට ඒ කාලෙ තාක්ෂණය ගොඩක්ම පහළ මට්ටමක තිබුණ නිසා ඔහුට මෙම උපකරණය නිමා කිරීමට නොහැකිවෙලා තියෙනවා. 


ඔහු නිර්මාණය කරන්න ගිය මෙම උපකරණයෙන් ගණිතකර්ම කිරීම, එවා මතකයේ තැන්පත් කර තබාගැනීම හා තාර්කිකව සැසඳීම කිරීමේ හැකියාවද තිබිලා තියෙනවා. ඉතින් මේ සංකල්පය පරිගණකයේ දියුණුවට ඉවහල් වුණ නිසා ඔහු පරිගණකයේ පියා ලෙසද හඳුන්වනවා.

කාලයාගේ ඇවැමෙන් 1937දී Harvard විශ්ව විද්යාලයේ සිටි Howard Aiken තීරණ කරනවා Babbage ගේ මේ උපකරණය නිපදවන්න. Aiken තම සගයන් සමග එකතුවෙලා IBM සමාගමේ සහය ඇතිව 1944 දී Automatic Sequence Control Calculator යන උපකරණය නිපදවනවා. 



MARK I ලෙස හඳුන්වපු මෙම උපකරණයට මූලික ගණිත කර්ම 4ක් සිදුකිරීමේ හැකියාව තිබෙනවා. මෙම උපකරණය යතුරු පුවරුවක් මගින් ක්‍රියාකළ අතර යතුරු හරහා Punch Card මත පිලිතුරු සටහන් කරීම මෙහෙදී සිදුවුණි. ටොන් 50ක් පමණ බර මෙම උපකරණයේ විද්‍යුත් යාන්ත්‍රික රිලේස් (Electro Mechanical Relays) 3000 ක් පමණ තිබිලා තියෙනවා. 

අවුරුදු 15ක් විතර භාවිතයේ පැවතුණ මේ MARK I උපකරණයෙන් පස්සෙ 1946දි පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ Moore School of Electrical Engineering මගින් පළමු ඩිජිටල් පරිගණකය නිර්මාණය කරලා තියෙනවා.



ENIAC (Electronic Numerical Integrator Analyzer and Computer) ලෙස හඳුන්වන මේ පරිගණකයේ යාන්ත්‍රිකව චලනය වන කොටස් නොතිබුනු අතර කේතනය කිරීමේ හැකියාව තිබිණි. ඒවගේම ගණනක කරණ පියවර (Calculation Steps) ගබඩාකර තබා ගැනීමටත් මෙයට හැකියාව තිබෙනවා. මෙම පරිගණකය සඳහා Vacuum Tubes 18,000 ක් පමණ භාවිත කර තිබෙනවා. පරිගණක යුගය ආරම්භය වූ මෙම කාලයේ පලමු යුගයේ (First Generation ) පරිගණකයක් ලෙස ENIAC හඳුන්වන්න පුලුවන්. මෙම පරිගණකයට තත්පරයට ගණනය කිරීම් 5,000 ක් පමණ සිදුකිරීමේ හැකියාවක් තිබෙනවා. මෙයට වර්ග අඩි 1,500 ක් පමණ විශාල ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වන අතර එකවර එක කාර්යයක් පමණක් කිරීමේ හැකියාවෙන් යුක්ත වෙනවා. මේ විදිහට වැඩි දියුණු වුණ පරිගණකය තවත් කාර්‍යක්ෂම කරමින් 1951 දී Remington Rand නැමැති ආයතනය විසින් UNIVAC I (Universal Automated Calculator) යන උපකරණය නිර්මාණය වෙනවා. 


මෙම පරිගණකයෙන් තත්පරයට එකතු කිරීම් 10,000 ක් පමණ සිදුකරන්න පුලුවන්. ඉතින් මෙහෙම කාලයක් ගතවෙද්දි 1957 දී IBM(International Business Machine) සමාගම විසින් IBM 704 යන උපකරණය නිර්මාණය කරනවා. ඉතින් මේ උපකරණයට හැකිවෙනවා තත්පරයට එකතුකිරීම් 100,000 ක් පමණ සිදුකරන්න. 

ඉතින් මේ විදිහට Vacuum Tube භාවිත කරපු මෙම පරිගණකවලට 1948 දී ට්‍රාන්සිස්ටර් නිර්මාණය වෙනවා. 

ජෝන් බාර්ඩීන්, විල්ලියම් ශොක්ලි හා වෝල්ටර් බ්‍රිට්න් යන අය තමයි මේ ට්‍රාන්සිස්ටර් නිර්මාණය කරන්නෙ. Transistor කියන්නෙ Vacuum Tube මගින් සිදු කළ කාර්යයම සිදු කළ හැකි ඝන තත්ත්ව (Solid State) උපාංගක්. ඉතින් මේ Transistor වල චලනය වන කොටස් නොමැති නිසා ක්‍රියාකාරීත්වය නිවැරදි සහ වේගවත් කරගන්න පුලුවන්. ඉතින් මේ ට්‍රාන්සිස්ටර්වලින් සමන්විත පරිගණකයකින් තත්පරයට ගණිතකර්ම 200,000 – 250,000 අතර ප්‍රමාණයක් සිදුකරන්න පුලුවන්. පරිගණකයේ දෙවන යුගය ලෙස හැඳුන්වපු මේ කාලයේදී මෙච්චර කාලයක් තිබුණ Vacuum Tubes ට්‍රාන්සිස්ටර් මගින් ප්‍රතිස්තාපනය වෙනවා. 

ඉතින් මේ විදිහට කාලයක් ගතවෙද්දි ‍ට්‍රාන්සිස්ටර් කිහිපයක් යොදා ගනිමින් අනුකලිත පරිපථ(Integrated Circuits) නිර්මාණය වෙනවා. මේ එක චිප් එකක් තුළ ට්‍රාන්සිස්ටර් දහස් ගණනක් නිර්මාණය කරන්න පුලුවන්. ඒ නිසාම ට්‍රාන්සිස්ටර් ඉවත්වෙලා අනුකලිත පරිපථ කරලියට එනවා. 


ඉතින් මේ හරහා පරිගණකය වඩාත් කාර්යක්ෂම හා වේගවත් කරගන්න හැකියාව ලැබෙනවා. වර්ෂ 1964 සිට 1971 දක්වා වූ මේ කාලසීමාවෙදි තමයි Punch Card වෙනුවට ආදාන(Input) යතුරුපුවරුව සහ මූසිකය භාවිතා වෙන්නෙ. 

Punch Card



ඒවගේම අපිට ප්‍රතිදාන(output) ලබාදෙන්න මොනිටර් එන්නෙත් මේ කාලෙමයි. පරිගණකයේ තුන්වන පරම්පරාව ලෙස හැඳින්වෙන මේ කාලසීමාවෙදි පරිගණක ක්‍රියාකරවිමට මෙහෙයුම් පද්ධති බිහිවෙලා ඒ සඳහා විවිධ වර්ගයේ මෘදුකාංගත් නිර්මාණය වෙනවා. ඉතින් ඔයාට පහතින් බලාගන්න පුලුවන් වෙන විධාන - රේඛා අතුරු මුහුණත (command - line interface) තමයි මේ කාල‍යෙදි තිබුණෙ. 


වර්ෂ 1971න් පසුව තාක්ෂණය දියුණු වීමත් සමග අපි කලින් කතා කරපු අනුකලිත පරිපථ වෙනුවට ක්ෂුද්‍ර සකසන (Micro Processor) හඳුන්වා දෙනවා. 


මේ හරහා පරිගණකයේ ප්‍රමාණය අඩුකරගැනීමය වගේම පරිගණකය තවත් වේගවත් කිරීමට හැකියාව ලැබෙනවා. ඉතින් මේ ක්ෂුද්‍ර සකසන හරහා එකවරකට එක වැඩසටහක් පමණක් ක්‍රියාත්මක වූ පරිගණකවලට වරකට වැඩසටහන් එකකට වඩා වැඩි ප්‍රමානයක් ක්‍රියාත්මක කිරීමේ හැකියාවත් ලැබෙනවා. ඒවගේම පරිගණකය සදහා මුල්වරට විධාන - රේඛා අතුරු මුහුණත (command - line interface) වෙනුවට චිත්රක පරිශීලක අතුරුමුහුණත (Graphical User Interface) බිහිවෙන්නෙත් මේ කාලයෙදි.


ඉතින් මේ නිසා විදාන Type කිරීම වෙනුවට කුඩා පින්තුර මත මූසිකය මගින් ක්ලික් කිරීමෙන් කාර්යය කරගැනී මේ හැකියාව ලැබෙනවා. පරිගණකයේ හතරවන පරම්පරාව වන මේ කාලයේදි දෘඩ තැටි (Hrad Disk), නම්‍ය තැටි (Floppy Disk), ප්‍රකාශ තැටි (Optical Disk) භාවිතයට පැමිණනවා. ඒවගේම පරිගණක ජාලකරණයත් (computer Network) හඳුන්වා දෙන්නේ මේ කාලයේදිම තමයි. ඉතින් ඒත් එක්කම පෞද්ගලික භාවිතය සදහා පරිගණක භාවිතයට පැමිණෙනවා. 

ඒ විදිහට නිර්මාණය වුණු පරිගණකය 1981 වසරේ දි IBM සමාගමත් 1984 දි Apple සමාගමත් නිවසේ පරිහරණයට සුදුසු පුද්ලගික පරිගණක හදුන්වා දෙනවා. පරිගණකයේ පස්වන පරම්පරාව ලෙස හැඳින්වෙන මේ කාලයෙදි UISl (අතිවිශාල ප්‍රමාණයේ අනුකුලිත පරිපත / Ultra Large Scale Inegration) තාක්ෂණය භාවිතා කරමින් මිලියන ගනනක් ඉලෙක්ට්‍රොනික පරිපථ සහිත ක්ෂුද්‍ර සකසන (silicon Chips) නිපදවීමට හැකියාව ලැබෙනවා. 

ඉතින් මේ විදිහට තමයි අපි දැනට භාවිතා කරන පරිගණකය නිර්මාණය වුණේ. ඉතින් මේ විදිහට දියුණු වුණ පරිගණකයත් එක්ක අන්තර්ජාලය භාවිතා කරමින් අපි විවිධ ක්‍රියාකාරකම්වල නිරතවෙනවා. ඉතින් කෘතිම බුද්ධියත් (Artificial Intelligence) එක්ක මේ වෙනකොට අපට බොහෝ දේවල් ඉතා කුඩා කාලයක් තුළ සිදු කරගන්නත් හැකිවෙලා තිබෙනවා.


Post a Comment

Previous Post Next Post